මෙරට දරුවන්ට පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමේ යෝජනාවට තමන් පැහැදිලිවම විරුද්ධ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 


"මං හිතන්නෙ ඒක එතුමන්ලාගෙ පෞද්ගලික අදහසක් වෙන්න පුළුවන්. හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙක් වශයෙන් ලාංකීය දරුවන්ට පළමු ශ්‍රේණියේ පටන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමට මම පැහැදිලිවම විරුද්ධයි. 


යුනෙස්කෝව, මුළු ලෝකෙම දරුවො වෙනුවෙන් ඉන්න සංවිධානය ප්‍රතිපත්තියක් ලෙස ජාත්‍යන්තරව පිළිගන්නවා රටක දරුවෙක්ට තමන්ගෙ මව් භාෂාවෙන් මිසක් මූලික අධ්‍යාපනය ලබාදිය නොහැකියි. මදර් ටං පොලිසි කියලා ලෝකෙ තියෙනවා ප්‍රතිපත්තියක්. ඒ අනුව තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් වෙලා තියෙන්නෙ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වෙනි වගන්තියේ අධ්‍යාපනයේ මාධ්‍ය කුමක්ද කියලා සඳහන් වෙනවා. රාජ්‍ය භාෂාවන් වන්නේ සිංහල හා දෙමළ. මේ මූලික භාෂාවන් දෙකෙන් පමණක් මූලික අධ්‍යාපනය ලබාදිය යුතුයි කියන එක බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එනිසා ලංකාවේ දරුවන්ට පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න නම් තුනෙන් දෙකක ඡන්ද බලයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනෙ පළවෙනියෙන්. දෙවනුව යුනෙස්කෝ වැනි සංවිධානවල මූලික ප්‍රතිපත්ති පිළිගන්නේ නැති රටක් බවට අපි පත්වෙනවා. 


මේක කළහැකි දෙයක්ද යන්න පිළිබඳව ගරු ජී. එල්. පීරිස් අමාත්‍යතුමාත් මේ රටේ අධ්‍යාපන විශේෂඥයිනුත් සමග පුළුල් සංවාදයක් ඇතිවුණොත් හොඳයි කියලා තමයි මං හිතන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 


අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග සංවාදයකට එක්වෙමිනි.