ඇස්ටසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකාව ජපානයෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි පළ වන වාර්තා තහවුරු කිරීමට කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කරයි.


ඩෙිලි මිරර් පුවත්පත විසින් කොළඹ සිටි ජපාන තානාපති කාර්යාලයෙන් කළ විමසීමකදී අදාළ ප්‍රකාශය තහවුරු කිරීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළ බව වාර්තා කර තිබේ.


නමුත් ජපානය නිපදවන එන්නත් මාත්‍රා මිලියන 30ක පමණ ප්‍රමාණයක් වෙනත් රටවලට වෙන් කරන බවද තානාපති කාර්යාලය සඳහන් කර ඇත.


කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය පසුගියදා වාර්තා කරන ලද්දේ මේ රටට අවශ්‍යව ඇති ඇස්ටසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක ප්‍රමාණයක් ලබා දෙන්නැයි ජපානයෙන් කරන ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවයි.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙරට සිටින ජපාන තානාපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී මෙම යහපත් ප්‍රතිචාර ලද බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබිණි.