කොවිඩ් වෛරසය හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යා ලේඛන ප්‍රකාශයට පත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අවසන් පැය 48 තුළදී සිදුවන මරණ පමණක් සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් කිරීමටයි තීරණය කර තිබෙන්නේ.


මෙම ක්‍රමවේදය හරහා ප්‍රමාදයකින් තොරව මරණ වාර්තා කිරීමට හැකිවනු ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ.


පසුගිය දිනවල මරණ වාර්තා කිරීමේදී සති කිහිපයකට පෙර සිදු වූ මරණද සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් වූ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත කළ නිවේදනවල සඳහන් වූයේ ඇතැම් දිනවල කිසිදු මරණයක් වාර්තා වී නොමැති බවයි. කෙසේ නමුත් එම දිනයේ සිදු වූ මරණ රැසක් ඉන් පසු දිනවලදී නිකුත් කළ නිවේදනවල සඳහන්ව තිබිණි.


මේ සම්බන්ධයෙන් බොහෝදෙනාගේ විවේචන එල්ල වූ අතර දෛනිකව මරණ 50 කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුවෙද්දී ඇතැම් දිනවල කිසිදු මරණයක් සිදු නොවූ බව වාර්තා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න කළේය.


නව ක්‍රමවේදය යටතේ අවසන් පැය 24 හෝ 48 තුළ සිදුවන මරණ පමණක් වාර්තා කරන අතර දින කිහිපයක් පැරණි මරණ පිලිබඳව වාර්තා නොකරනු ඇත.