ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට පැමිණීමේදී මෙරට බළධාරීන් නිසි ක්‍රමවේද අනුගමනය කළ බවත්, ගිනි ගැනීමට ලක්වීම අවාසනාවන්ත හා බලාපොරොත්තු නොවූ තත්වයක් බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා. නෞකාව සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයන් අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බවත් එම ප්‍රචාරවල කිසිදු සත්‍යයක් නොමැති බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


පසුගිය රජය සමයේදී විදෙස් රටවල අපද්‍රව්‍ය නැව් පිටින් ලංකාවට ගෙන්වා ගත් පුද්ගලයන් අද පරිසර දූෂණය ගැන නෞකා ගැන කතා කිරීම විහිළුවක් බවද අමුණුගම මහතා පවසනවා.


මෙම ගිනි ගැනීම හේතුවෙන් සාගර පරිසර පද්ධතියට සිදු වූ හානිය සම්පූර්ණයෙන් පියවීමට නොහැකි වුවද හැකිතරම් නැවත යථා තත්වයට පත් කිරීම වෙනුවෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ සඳහා වැයවන සියලු මුදල් නෞකාවේ අයිතිය හිමි සමාගමෙන් අයකර ගැනීමට කටයුතු කරන බවත් දිළුම් අමුණුගම මහතා සඳහන් කරනවා.


ඔහු මෙම අදහස් පළකළේ මහනුවර මහයියාව ප්‍රදේශයේ ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණ කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුර ලබා දෙමිනි.