හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් ස්ථාපිත කළ, නීතිපති සම්බන්ධීකරණ නිළධාරී තනතුර වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ චක්‍රලේඛයක් හරහා මෙම තනතුර අහෝසි කර තිබේ.


ඉකුත් 31 වැනිදා මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙන්නේ ජ්‍යෙෂ්ට සොලිසිටර් ජෙනරාල් (පරිපාලන) චේතිය ගුණසේකර මහතා විසිනි.


අදාළ තනතුර පිහිටවූ 2019 හි අංක 28 චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බවත්, නීතිපතිවරයාට සම්බන්ධීකරණ නිලධාරියෙක් නොමැති බවත් එම චක්‍රලේඛයේ සඳහන්ව ඇත.


දප්පුල ද ලිවේරා මහතා විසින් ඔහුට පැවරී තිබෙන ව්‍යවස්ථාපිත බලතල අනුව මෙම තනතුර අලුතින් පිහිටවූ අතර ඒ සඳහා රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පත් කළේය. ඇය වසර දෙකකට ආසන්න කාලයක් එම තනතුර හෙබවූවාය.


හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ධුර කාලය සම්බන්ධයෙන්‍ බොහෝ විවේචන එල්ල වූ අතර ඔහු පැවරූ නඩු විශාල ප්‍රමාණයක් අධිකරණය විසින් ඉවත දමා තිබිණි.