සිංගප්පූරු තැරැව්කරුවන් මගින් දිගින් දිගටම ඉන්ධන ලබා ගෙන ඇත්තේ ඉන් කොමිස් මුදල් ලැබෙන නිසා බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

එසේ නැතිව ඔපෙක් රටවල් සමග ගිවිසුම් ගත වී ඉන්ධන ලබා ගත්තේ නම් විශාල ලෙස අඩු මිලකට ඉන්ධන ලබාගත හැකිව තිබූ බවද ඒ මහතා කියා සිටී.

එමෙන්ම මෙරට බොරතෙල් ආනයනය කර පිරිපහදු කිරීමට බලශක්ති අමාත්‍යාංශයේ කිසිදු නව පියවරක් ගෙන නැතැයි ද ඔහු චෝදනා කරයි.

ඒ මහතා මේ බව පවසන්නේ තම සමාජ ගිණුමේ සටහනක් තබමිනි.

අදාල සම්පූර්ණ සටහන මෙසේය.

පොහොට්ටු නිවේදනය තුළ කරුණු දෙකක් අඩංගු වෙනවා.

අංක එක වන්නේ ඉන්ධන මිළ වැඩි කිරීමේ තැනට රජය තල්ලු වන තුරු විෂය භාර ඇමතිවරයා තම ධුර කාලය තුළ කිසිවක්ම නොකළ බවයි. එසේ නොකළ දේවල් ලෙස අප දකින්නේ ඔපෙක් රටවල්වලින් ⁣ඉන්ධන මිළට නොගෙන, විශාල කොමිස් මුදලක් ලැබෙන සිංගප්පූරු තැරැව්කරුවන්ගෙන් ම දිගින් දිගටම ඉන්ධන මිළට ගැනීමයි. ඔපෙක් රටක් සමග ගිවිසුම් ගත වී ඉන්ධන ලබා ගන්නා විට කොමිස් මුදල් නොලැබෙන අතර එය රජයන් දෙක අතර ගිවිසුමට අනුව සිදුවේ. එවිට විශාල ලෙස අඩු මිළකට ඉන්ධන ලබාගත හැකිය.

දෙවැනි කාරණය නම්, බොරතෙල් ආනයනය කර ලංකාවේ පිරිපහදු කිරීම සඳහා පසුගිය වසර දෙක තුළ අමාත්‍යාංශය කිසිදු නව පියවරක් ගෙන නැති බවයි. සිදුකර ඇත්තේ පසුගිය රනිල්-සිරිසේන පාලනය විසින් තෙල් මිළට ගත් තැරැව්කරුවන්ගෙන් හතර දෙනාගෙන් ම මාරුවෙන් මාරුවට පිරිපහදු කළ තෙල් ලබා ගැනීම පමණි.
ලෝක වෙළඳපොල තුළ තෙල් මිළ අඩු වූ අවස්ථාවල අමතර තෙල් ගබඩා කිරීම සඳහා පහසුකම් වැඩි කළ යුතු බව කැබිනට් රැස්වීම්වල කිහිප වරක්ම දැනුම් දී තිබුණ ද ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඇමතිවරයා කටයුතු කර නැතිවීම මීළඟ ප්‍රශ්නයයි.

මුහුදේ සිට තෙල් පොම්ප කරන දෙවැනි නල පද්ධතියක් එලිය යුතු බව ද කර ඇති ඊළඟ යෝජනාවයි. ඒ සඳහා ද පියවර ගෙන නැත.

– mahinda pathirana FB