ජනාධිපති කාර්යය සාධක බලකායේ උපදෙස් පරිදි කොවිඩ් 19 වසංගතයේදී රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය වන වෛද්‍ය ඔක්සිජන් දේශීයව නිෂ්පාදනය කිරීමට  අවශ්‍ය සියලු පහසුකම් වලින් යුත් කර්මාන්ත ශාලාවක් ඉදිරිකිරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් අක්කර 25 ක භූමියක් ලිට්රෝ ගෑස් ලංකා සමාගමට ලබා දීමට 06-02 දින ගිවිසුම් අත්සන් කරන ලදී.


රජයේ තක්සේරුකරුගේ තක්සේරුව වටිනාකමට යටත්ව ඒ සදහා අත්තිකාරම් මුදල් වශයෙන් රු.මිලියන 500 ක මුදලක් ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත එම කාර්යාලයේදී ලබාදෙන ලදී.


ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වසංගතය හමුවේ මේ වන විට ශ්‍රී ලංකාවද ගොදුරු වී ඇති අතර රෝගීන් සංඛාව ඉහළ ගිය හොත් දැනට දේශීයව සපයන ලද ඹක්සිජන්  ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය බලධාරීන් විසින්  පුරෝකථනයන කොට ජනාධිපති කාර්යය සාධක බලකාය වෙත දන්වන ලදී.


දැනට පවතින සමාගම් විසින් දිනකට මෙට්ට්‍රික් ටොන් 90 පමණ ඔක්සිජන් නිෂ්පාදනය කරන අතර ඉදිරියේදී පවතින ඉල්ලුමට පිළියමක් ලෙස ලිට්රෝ ගෑස් සමාගමට ඹක්සිජන් නිෂ්පාදනය සදහාද අවතීර්ණ වන ලෙසත් හිඟයකින් තොරව සෞඛ්‍ය අංශ වෙත ඉදිරියේදී ඉල්ලුමට අනුව ලබා දීමට ක්‍රියා කරන ලෙසත් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි හා ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් දැනුම් දෙන ලදී.


ඒ අනුව  ජනාධිපති කාර්යය සාධක බලකායේ කමිටුව විසින් ගත් තීරණයට අනුව ලිට්රෝ ගෑස් ලංකා සමාගම මෙම ජාතික කර්තව්‍යය සිදු කරනු ලබයි. 


එමෙන්ම ලිට්රෝ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය  විසින් ගත් තීරණයන්ට අනුව  කෙරවළපිටියේ අක්කර 25 ක භූමි ප්‍රමාණය තුළ ඔක්සිජන් නිෂ්පාදනය හා බෙදාහැරීමේ ජාලයක් ස්ථාපනය කිරීමට තීරණය කර ඇත.


මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්.සොයිසා මහතා හා එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ශ්‍රීමතී සේනාධීර මහත්මිය ඇතුලු නිළධාරීන් මෙන්ම ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ඇතුලු නිළධාරීන් සහභාගී විය.