බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ සිංගප්පූරු බැංකු ගිණුමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. 

මෙරටට මේ වනවිට ඛනිජ තෙල් ආනයනය කරන්නේ සිංගප්පූරු සමාගමක් හරහා වන අතර ඇමරිකානු ඩොලර් මිලියන ගණනාවක මෙම ගනුදෙනු සඳහා යම් කොමිස් මුදලක් සිංගප්පූරුවේ බැංකු ගිණුමකට බැරවන බවටත් මෙරට ඉන්ධන මිල වැඩිකිරීම ද එම සමාගමේ වුවමනාව අනුව සිදුව ඇති බවටත් තොරතුරු ලැබී ඇති හෙයින් ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

මෙම සිංගප්පූරු සමාගම පසුගිය යහපාලන රජය සමයේ ද මෙරටට ඉන්ධන සැපයුම් කළ ප්‍රධානතම සමාගම් අතරින් එකක් වන අතර ඛනිජ තෙල් නිෂ්පාදනය කරන මැද පෙරදිග රටවල් වලින් සෘජුවම එම නිෂ්පාදන මිලදී නොගෙන සිංගප්පූරු සමාගමක් හරහා මෙය සිදුකරන්නේ ඇයිද යන ප්‍රශ්නය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයක් අතර කතාබහට ලක්ව ඇති බවත් සඳහන්. 

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ සංචරණ සීමා හමුවේ ජනතාව සිය ආදායම් අහිමිව දැඩි ලෙස පීඩාවට පත්ව සිටියදී ඉන්ධන මිල වැඩිකිරීම කිසිසේත්ම නොකළ යුතු දෙයක් බවයි 


 ආණ්ඩුවත් ජනතාව අතරේ දේශපාලනය කරන මැති ඇමතිවරුනුත් මේ නිසා දැඩි අප්‍රසාදයකට ලක්වන වී ඇත. ජනතාව අතරේ දේශපාලනය නොකරන බලශක්ති ඇමතිවරයා සමස්ත ආණ්ඩුවම අමාරුවේ දමා ඇතිය යන්න ඔවුන්ගේ මතය වී ඇති බව ආරංචිමාර්ග ප්‍රකාශ සඳහන් කරයි.