අද (14) දිනයේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


වයඹ පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. 30ත් 40ත් පමණ වන අතර විටින්විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකිය.


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.


මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබේ. 


කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මෙම නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය. 


ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, වරකාපොළ, අරනායක, බුලත්කොහුපිටිය, යටියන්තොට,රුවන්වැල්ල සහ කෑගල්ල යන ප්‍රදේශ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. 


රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල, කුරුවිට සහ අයගම යන ප්‍රදේශ ද නායයෑම් අවදානම් ප්‍රදේශ බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නම් කර ඇත.


පැවැති වර්ෂාවත් සමග ඊයේ රාත්‍රියේ කඩුවෙල සහ අවට ප්‍රදේශ කිහිපයක සුළු නිවාස හානි වාර්තා වී තිබූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.