ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක "ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත" අවලංගු කරන ලෙස ඉල්ලමින් යුරෝපීය පාර්ලිමේන්තුව විසින් ඊයේ (10) යෝජනාවක්  සම්මත කර තිබේ.


එම යෝජනාවේ දැක්වෙන්නේ නීතිගත කර ඇති ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ශ්‍රී ලංකාව ජී එස් පී ප්ලස් සහනය හා සම්බන්ධ සම්මුතීන් වලට නොගැලපෙන බවය.  


යුරෝපීය පාර්ලිමේන්තුවේ නියෝජිතයින් 705 දෙනාගෙන් 628 දෙනෙක් එම සම්මුතියට පක්ෂවී ඇති අතර නියෝජිතයින් 15 දෙනෙක් ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කර තිබේ. 40 දෙනෙක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටි බව සඳහන් වේ. 


එම යෝජනාව මගින් යුරෝපීය පාර්ලිමේන්තුව යුරෝපීය කොමිසමෙන් ඉල්ලා ඇත්තේ, "ජී එස් පී ප්ලස් සහනය තාවකාලිකව අත්හිටුවීමට" තීරණයක් ගන්නා ලෙසය. 


ජී එස් පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවට නැවත ලැබුණේ 2017 මැයි 19 වනදා ය. ඒ, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවලංගු කර මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ක්‍රියාත්මක කිරීමට එකඟවීමේ කොන්දේසිය මතය.