මේ වනවිට රට හමුවේ පවතින බරපතළ විදේශ විනිමය අර්බුදය මඟහරවා ගැනීම සඳහා නුදුරේදීම ඉන්දීය සහ බංග්ලාදේශ මහ බැංකු සමඟ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 780ක කොටස ලබා ගැනීමටත් සූදානමින් සිටින බව මහ බැංකුවේ ප්‍රධානීන් හෙළිකළේය.


අද (11) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පවත්වන ලද නිල සාකච්ඡාවේදී මෙම තොරතුරු හෙළිකෙරිණ. මහ බැංකු අධිපතිවරයා සහ තවත් ආචාර්යවරයෙකු මෙම නිල සාකච්ඡාවට එක්වී සිටියහ.


මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 780ක් ලබා ගන්නේ විශේෂ ණයක් හැටියට නොව මෙම වසරේදී ශ්‍රී ලංකාවට ලැබිය යුතු මූල්‍ය ප්‍රතිපාදන කොටස වශයෙන් මෙම මුදල ලබා ගැනීමට සූදානම් වන බව අවධාරණය කළේය. 



එසේ උවත් මෙය වාර්ෂිකව එක් එක් රටවල් වෙනුවෙන් වෙන් කරනු ලබන ණය ප්‍රතිපාදන වේ. එය ආපසු ගෙවිය යුතුය. ඉන්දීය සහ බංග්ලාදේශ මහ බැංකුවලින් ලබා ගැනීමට අපේක්ෂා කරන මුදල කොපමණදැයි මෙහිදී හෙළි වූයේ නැත .


මේ වනවිට ද බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා ගෙන ඇත.