දැනට රටපුරා ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 14 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර තවදුරටත් සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැත. කෙසේ නමුත් ජුනි මාසය පුරා සංචරණ සීමා ක්‍රියාත්මක වනු ඇති බවට නිළ නොවන ආරංචි මාර්ග අනාවරණය කරයි.


මේ අතර දැනට පවතින සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කළයුතු බවට ආණ්ඩුවට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙන්නේ සංචරණ සීමා පැනවීම හරහා යම් තරමකට වසංගත තත්වය පාලනය වී ඇති බැවින් ජුනි 14 වැනිදා රට යළි විවෘත කළහොත් නැවතත් අවදානම ඉහළ යා හැකි බවයි.



එසේ වුවහොත් එය සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමේ තත්වයකට තුඩුදිය හැකි බැවින් අවම වශයෙන් ජුනි 21 වැනිදා දක්වා හෝ සංචරණ සීමා ක්‍රියාත්මක විය යුතු බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දී තිබේ.


ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න සම්බන්ධයෙන් ලබන 11 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන කාර්ය සාධක බළකා රැස්වීමේදී තීරණය කරනු ඇති බවයි.