කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් කිරීම සදහා රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීමට අමතරව පුද්ගලික ධන පරිත්‍යාග ලබාදෙන්නැයි කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කොළඹ 75 වෛද්‍ය ශිෂ්‍ය එකමුතුව සහ එංගලන්තයේ Medical Aid Sri Lanka සංවිධානය එක්ව කොවිඩ් ප්‍රතිකාර කටයුතු කෙරෙන ශ්‍රී ලංකාවේ රෝහල් 12කට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ බයෝ මෙඩිකල් ඉංජිනියරින් ඒකකයේදී සිදුවිය.


හලාවත මහ රෝහල, ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානය, යාපනය ශික්ෂණ රෝහල, කයිට්ස් රෝහල, මුලතිව් දිස්ත්‍රික් මහ රෝහල, දඹදෙණිය මූලික රෝහල, නාරම්මල ප්‍රාදේශීය රෝහල, ශාරිපුත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානය, මීරිගම මූලික රෝහල, මතුගම දිස්ත්‍රික් රෝහල, බිබිල මූලික රෝහල, කන්තලේ මූලික රෝහල යන රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන සදහා රුපියල් මිලියන 08කට වැඩි වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළ අතර ඒ සදහා ICU Beds, Patient Monitors, Infusion pumps, Nebulizer masks, Pulse Oxymeters, Medical Oxygen Regulators, C Pac Machines ඇතුළු වෛද්‍ය උපකරණ ඇතුළත්විය.


මෙම අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කර සිටියේ කොවිඩ් වසංගතය හමුවේ රෝහල් වෙත ප්‍රතිකාර සදහා රෝගීන් විශාල වශයෙන් එක්වෙමින් තිබෙන මොහොතක රෝහල් පද්ධතියටද විශාල වශයෙන් වෛද්‍ය උපකරණ අවශ්‍යවෙමින් තිබෙන බවයි. ඒ සදහා රජය මැදිහත්වීම මෙන්ම පුද්ගලික ධන පරිත්‍යාග ඉතා වැදගත්වන බැවින් කොළඹ 75 වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමත් එංගලන්ත මෙඩිකල් ඒඩ් ශ්‍රී ලංකා සංවිධානයත් එක්ව රටේ දුෂ්කර පළාත්වල රෝහල් සදහා අවශ්‍ය උපකරණ රාශියක් එම රෝහල්වල ඉල්ලීම අනුව ලබාදීමට කටයුතු කර තිබෙන අතර ඒ සදහා මැදිහත්වූ 75 වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමේ සභාපති මහාචාර්ය හරින්ද ද සිල්වා මැතිතුමා ඇතුළු සියලු දෙනාට රජය පාර්ශවයෙන් රාජ්‍ය අමාත්‍යවරිය  ස්තුතිය පුදකර තිබේ.


පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ එම මොහොතේම අදාල රෝහල් වෙත ලබාදීමට කටයුතු කළ තිබේ.