සපුගස්කන්ද තෙල් පිිරිපහදුවෙන් ඉවත් වන දැවිතෙල් ගබඩා කර ඇති ටැංකිවලට වැසි ජලය මිශ්‍රවීම නිසා දැවිතෙල් කැලණි ගඟට එකතුවීමේ අවදානමක් මතුව ති‍බෙනවා. ජල සම්පාදන මණ්ඩලයද පවසන්නේ දැවිතෙල් කැලණි ගඟේ ජලයට මුසුවීමේ අවදානමක් උද්ගතව ඇති බවයි.


කෙසේ නමුත් මේ දක්වා පානීය ජල සැපයුමට මින් බාධාවක් සිදුව නොමැති බවත්, ඒ අනුව පානීය ජල සැපයුම අත්හිටුවීමේ හෝ සීමා කිරීමේ අවශතාවයක් මතුව නොමැති බවත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා පවසයි.


එහෙත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසන්නේ දැවිතෙල් කැලණි ගඟේ ජලය සමග මිශ්‍රවීමේ කිසිදු අවදානමක් නොමැති බවයි.


පෙරේදා රාත්‍රියේදී දැවිතෙල් අඩංගු ටැංකිවලට ජලය ගලාගොස් තිබූ අතර වැසි ජලය සමග දැවිතෙල් පිටතට ගලාවිත් තිබිණි. වර්ෂාපතනය අඩුවීමත් සමග දැවිතෙල් මිශ්‍ර වැසි ජලය ගංගා ජලය සමග මුසුවීමේ අවදානමක් තිබේ.


කෙසේ නමුත් නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් විශේෂ මෙහෙයුමක් දියත් කරමින් දැවිතෙල් කාන්දුවීම වැළැක්වීමට හා දැවිතෙල් මිශ්‍ර වැසි ජලය ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.