සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව සූර්ය බලශක්ති උත්පාදනය වැඩිකර, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීම වේගවත් කිරීමට පියවර ගැනේ. රජයේ ගොඩනැගිලි, ආගමික සිද්ධස්ථාන සහ අඩු ආදායම්ලාභී නිවෙස් දායක කර ගනිමින් සූර්ය බලශක්තිය උත්පාදනය රජයේ ප්‍රමුඛ සැලසුමකි.

 

අඩු ආදායම්ලාභී ගෘහ ඒකක සඳහා ආර්ථික ප්‍රතිලාභ ළඟාකර දීම සහ රජයේ ආයතනවල විදුලිය වෙනුවෙන් වැය වන වියදම කපා හැරීම එමගින් අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘති මගින් ජාතික විදුලි පද්ධතියට ඇතුළත් වීමට නොහැකි අඩු ආදායම්ලාභීන්ට බැටරි මගින් සූර්ය බලශක්ති ගබඩා පහසුකම් සැලසීමටද පියවර ගෙන ඇත. 


ඉඩම් හිගය මගහරවා ගනිමින්, ජලය මත පාවෙන සූර්ය පද්ධති ස්ථාපිත කිරීමෙන් විදුලි උත්පාදනයද වැඩසටහනට ඇතුළත් වේ. එහි පළමු අදියර, පාර්ලිමේන්තුවට අවශ්‍ය විදුලි උත්පාදනය සඳහා ආදර්ශ වැඩපිළිවෙළක් ලෙස දියවන්නා ඔය කේන්ද්‍ර කරගනිමින් ඇරඹීමට සැලසුම් කර ඇත.


මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු ලෙස ඉන්දීය රජය, ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණය මාලාවක්  (Line Of Credit) පිරිනැමීමට එකඟතාව පළ කරමින්, දෙපාර්ශ්වය අතර ණය සම්මුති ගිවිසුමකට එළඹ තිබේ.


ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු අපනයන හා ආනයන බැංකුව අතර අත්සන් තබන ලද ණය මාලා ගිවිසුම අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරියේ මුදල් ලේකම් එස්.ආර්. ආටිගල මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර හුවමාරු කරගනු ලැබීය.

 

විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා, විදුලිබල අමාත්‍යාශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, ඉන්දීය තානාපති කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.