ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත අද අළුයම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරක කිහිපයක් එල්ල වී තිබෙනවා. හමාස් සංවිධානයට සම්බන්ධ මාධ්‍ය පවසන්නේ හමාස් පුහුණු කඳවුරක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි.


පලස්තීනය විසින් පුපුරණ ද්‍රව්‍ය සහිත බැලුන් ඊශ්‍රායලය වෙත එවීමට ප්‍රතිචාර ලෙස මෙම ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායල් බළධාරීන් පවසන්නේ. තම රටට ප්‍රහාර එල්ල කිරීම සඳහා හමාස් සටන්කාමීන් සැළසුම් සකස් කරමින් සිටින බවත් ගුවන් ප්‍රහාර එල්ල කළේ එවැනි ස්ථානයකට බවත් ඊශ්‍රා‍යල බළධාරීන් පවසනවා.


ඊයේ දිනයේදී ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් 'ආරාබිවරුන්ට මරණය' යනුවෙන් පවසමින් ජෙරුසෙලමේ පෙළපාලි ගිය අතර හමාස් සටන්කාමීන් පුපුරණ ද්‍රව්‍ය සහිත බැලූන් ඊශ්‍රායලයට අයත් භූමිය වෙත එවීමට කටයුතු කර තිබුණේ ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි.


පසුගිය මාසයේදී දෙරට අතර දරුණු ගැටුම් ඇති වූ අතර ‍එම ගැටුම්වල මැදි වූ සිය ගණනකගේ ජීවිත අහිමි විය. කෙසේ නමුත් පසුව දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක විය. එම සටන් විරාමයට පසුව මෙවැනි ප්‍රහාරයක් එල්ල වූයේ පළමුවරටයි.


එසේම මෙය, නෙතන්යාහු පාලනය අවසන් වී නව අගැමතිවරයා ලෙස නෆ්තාලි බෙනට් පත්වීමෙන් පසුව එල්ල වූ පළමු ඊශ්‍රායල ප්‍රහාරයද වේ.