ආණ්ඩුව විවේචනය කිරීම සහ ආණ්ඩුවට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීම ඔවුන්ට දරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය මර්දනයකට ආණ්ඩුව සූදානම් වී සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.


අද (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ. 


 

ආණ්ඩුව තුළ සිදුවන වංචා,දුෂණ,අක්‍රමිකතා පිළිබද පමණක් නොව ආණ්ඩුවක් ක්‍රියාත්මක වීම පිළිබඳ බරපතල අඩුවක් දැනෙන බව  ඔහු  කියා සිටියේය. 


මහජනතාව අපේක්ෂා නොවන ආකාරයට කටයුතු සිදුවීම නිසා විවේචන එල්ල වීම සාමාන්‍ය දෙයක් බවයි ඔහු තවදුරටත්  පැවසුවේ ය. 


 

''ආණ්ඩුව පොලීසිය,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවල වෙනත් ආකාරයකින්  මර්දනය කිරීම සඳහා කණ්ඩායම් යොදවමින් මාධ්‍ය මර්දනයට ආණ්ඩුව උත්සහ කරන්නේ නම් එයින් පෙනෙන්නේ ආණ්ඩුව යන ගමන් මඟ ප්‍රජාතන්ත්‍රවාදී නැති බව. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම  සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය වාරණය සඳහා ගන්නා ක්‍රියාමර්ග අත්හිටුවන්න කියන එක.''  යනුවෙන් වැඩිදුරටත් තිස්ස අත්තනායක මහතා කියාසිටියේය.