තෙල් සංස්ථාව පෞද්ගලීකරන කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් වැරදි ලෙස හුවා දක්වමින් තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන බවට චෝදනා කරන්නේ ජාතියේ සතුරන් බවයි ඊයේ (03) සිය අමාත්‍යංශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ගම්මන්පිල ඇමතිවරයා සඳහන් කළේ.


තමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ දැනට ක්‍රියාත්මක තෙල් පිරිපහදුවේ ධාරිතාවය වැඩි කිරීම සඳහා සහ බැරල් ලක්ෂයක ධාරිතාවයකින් යුක්ත නව පිරිපහදුවක් ඉදිකිරීම සඳහා බවත්, ඒ අනුව දැනට ක්‍රියාත්මක පිරිපහදුවේ දෛනික ධාරිතාවය 38,000 සිට 45,000 දක්වා වැඩිවන බවත් ඇමතිවරයා පවසනවා.


මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3000 ක මුදලක් වැයවන බව පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කරන්නේ එය මෙතෙක් මෙරට ඉතිහාසයේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය බවයි. ණය බරින් මිරිකී සිටින තෙල් සංස්ථාවට සහ රජයට මෙම අතිවිශාල මුදල ආයෝජනය කළ නොහැකි බැවින් අනිවාර්යෙන්ම මේ සඳහා විදෙස් ආයෝජකයෙකු සම්බන්ධ කර ගැනීමට සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.


ඒ අනුව මෙම ව්‍යාපෘතිය BOT හෙවත් ඉදිකර මෙහෙයුම් කර නැවත පැවරීමේ ව්‍යාපෘතියක් ලෙස දියත් වන බවත්, මේ සඳහා ආයෝජනය කරන අ‍ායෝජකයා තමන්ගේ පිරිවැය සහ ලාභය අත්පත් කරගත් පසුව යම් නිශ්චිත කාලයකදී ඉන්ධන පිරිපහදුම් දෙකේම ශුද්ධ අයිතිය තෙල් සංස්ථාවට හිමිවන බවත් ඇමතිවරයා සඳහන් කරනවා.


ආයෝජකයෙකු ගෙන්වා ගැනීම සඳහා 1961 අංක 28 දරන ඛනිජ තෙල් සංස්ථා පනත සංශෝධනය කිරීමට සිදුවන බවත්, මෙය කිසිසේත්ම තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමක් නොවන බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.