පසුගිය 02 වැනිදා ආරම්භ වූ එංගලන්ත - නවසීලන්ත පළමු ටෙස්ට් තරගය, 27 හැවිරිදි ඔලී රොබින්සන්ගේ පළමු ටෙස්ට් තරගයයි. එසේම එය ඔහුගේ පළමු ජාත්‍යන්තර තරගයද විය. සිය පළමු තරගයෙන්ම ඔලී රොබින්සන් දක්ෂතා දැක්වීමට සමත් වූ අතර ඉනිම දෙකේදීම ඔහු කඩුලු 07 ක් බිඳහෙළීමට සමත් විය.


පළමු තරගය අවසන්වීමත් සමග ඔලී රොබින්සන් පිළිබඳව ක්‍රිකට් ලෝකය පුරා කතාබහට ලක්වෙනවා. ඒ ඔහු පළමු තරගයේදී දැක්වූ දක්ෂතා නිසාම නො‍වේ.


රොබින්සන් සිය ජාත්‍යන්තර ගමන ආරම්භයේදීම කලු පැල්ලමක් එකතු කරගෙන තිබෙනවා. ඒ ඔහු 2012 - 2013 කාලවකවානුවේදී සිය ට්විටර් ගිණුම හරහා පළකළ ඇති වර්ගවාදී සහ ලිංගික අදහස් හේතුවෙනි. මේ නිසා ඔහුගේ ජාත්‍යන්තර ගමන තාවකාලිකව අත්හිටුවීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.


ඒ අනුව ඔලී රොබින්සන්ගේ මෙම වර්ගවාදී හා ලිංගික අදහස් සහිත ට්විටර් පණිවුඩ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට තීරණය කර ඇති අතර එම විමර්ශනය අවසන් වනතුරු රොබින්සන් එංගලන්ත ජාතික සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. ඒ අනුව ඔහු ජාතික සංචිතයෙන් ඉවත් වී සසෙක්ස් ප්‍රාන්තය බලා පිටත්ව යාමට නියමිතව සිටියේය.


අදාල පරීක්ෂණයේදී ඔහුට දඬුවම් කරන්නේද යන්න තීරණය වනු ඇති අතර ඒ අනුව ඔහුගේ ජාත්‍යන්තර ගමන තීරණය වනු ඇත. මෙම ට්විටර් පණිවුඩ නිකුත් කරන විට ඔහු යොවුන් වයසේ සිටි බැවින් ඔහුට යම් සහනයක් ලැබෙනු ඇතැයිද වාර්තා වේ.