මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන නිසා එම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ප්‍රතිකාර ලබාදීමේදී සෞඛ්‍ය ඉතා දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.


එනිසා දැනට පනවා තිබෙන සීමා තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය කටයුතු කල යුතු යයි සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා පැවසීය.


දැනට ක්‍රියාත්මක සංචරණ සීමාවල බොහෝ අඩුපාඩු ඇතැයිද පවසන ඔහු එම අඩුපාඩු නිවැරදි කර ගනිමින් ඒවා යළි පැනවිය යුතු බවද පැවසීය.


මෙම සීමා වල යම් ප්‍රගතියක් අත්කර ගැනීමට නම් සති දෙකකට වැඩි කාලයක් එය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බව ද පවසන ඒ මහතා දැනට පවතින අඩුපාඩු නිසා තවම ප්‍රගතියක් අත්කර ගැනීමට නොහැකි වී ඇතැයිද කියා සිටියි.


ශ‍්‍රී ලංකාවේ ජනගහනය ඉන්දියාවේ ජනගහනයට සාපේක්ෂව ගෙන බලන විට මෙරට කොරෝනා වෛරසය පැතිරයාම හා මරණ සංඛ්‍යාව ඉන්දියාවට වඩා ඉහළ තත්වයක පෙන්නුම් කරන බවත් ඔහු පවසයි.


මේ තත්වය යටතේ පවතින සීමා කිසිසේත්ම ඉවත් නොකළ යුතු බවද පවසන ඔහු තත්ත්වය පිළිබඳව තවත් ගැඹුරින් සලකා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස තම සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා යැවූ බව ද කියා සිටියේය.