අවම වශයෙන් තවත් සති දෙකක කාලසීමාවක් හෝ සංචරණ සීමා ක්‍රියාත්මක වියයුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.


එම සංගමය පෙන්වා දෙන්නේ දැනට සංචරණ සීමා ක්‍රියාත්මක වූ කාලසීමාව තුළ ආසාදිතයන් වාර්තා වීම ඉහළ මට්ටමක පැවතියද එය තරමක් ස්ථාවර වී ඇති බවයි. ඒ අනුව තවත් සති දෙකක් සංචරණ සීමා ක්‍රියාත්මක වුවහොත් දෛනික ආසාදිතයන් ප්‍රමාණය පහළ බසිනු ඇති බවයි එම සංගමය පවසන්නේ.


ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති පද්මා ගුණරත්න මහත්මිය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති ලිපියක මේ බව සඳහන් වේ.


ආසාදිතයන් වාර්තා වූ පහත වැටීමට නම් සැළකිය යුතු කාලයක් ගතවන බවත්, ඒ අනුව තවත් සති දෙකක් හෝ තුනක් පමණ සංචරණ සීමා ක්‍රියාත්මක වුවහොත් එහි උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවනු ඇති බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.


ඇතැම් අවස්ථාවලදී සංචරණ සීමා තදින් ක්‍රියාත්මක නොවීම දෛනික ආසාදිතයන් ප්‍රමාණය අඩු නොවීමට හේතු වී ඇති ‍බව පෙන්වා දෙන එම සංගමය පවසන්නේ සංචරණ සීමා ඉතා තදින් ක්‍රියාත්මක කළයුතු බවයි. විවෘතව තබන ආයතන ආශ්‍රිතව සිදු කරන PCR ප්‍රමාණය ඉහළ දැමිය යුතු බවත්, සමාජය තුළ වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා අහඹු ලෙස සිදු කරන පරීක්ෂණ ඉහළ දැමිය යුතු බවත් එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරනවා.