සමාජ ජාලා මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු සමාජගත කරන පුද්ගලයන්, කොවිඩ් 19 මර්දනය කිරීමේ වැඩපිළිවෙලට බාධා කරන්නන්, අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ දර්ශන හුවමාරු කරන පුද්ගලයන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිළධාරීන්ට නීතිමය ප්‍රතිපාදන තිබෙන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.


මෙවැනි කටයුතු හරහා ජනතාව තුළ අසමගිය වෛරසය ඇතිකළ හැකි බැවින් එවැනි පුද්ගලයන් කඩිනමින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.


මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන අතර නිදහස් මාධ්‍ය භාවිතයට බාධා කිරීම හෝ මර්දනය කිරීමට කිසිසේත් අපේක්ෂා නොකරන බවයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.