පවත්නා තත්වය හමුවේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම පහළ යනු ඇතැයි කිසිවෙකුටත් බලාපොරොත්තු විය නොහැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ සංචරණ සීමා පැණවීම නාමමාත්‍රික තත්වයට පත්ව ඇති බවයි.


අත්‍යවශ්‍ය සේවා බව පවසමින් සාමාන්‍ය දිනවල ක්‍රියාත්මක බොහෝ ක්‍රියාකාරකම් සිදුවන බවත්, අනවශ්‍ය පරිදි ජනතාව විශාල ප්‍රමාණයක් සමාජය තුළ සැරිසරමින් සිටින බවත් උපුල් රෝහණ මහතා සඳහන් කරනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ අත්‍යවශ්‍ය සේවා බව පවසමින් නීතිවිරෝධී මත්පැන් පෙරන ස්ථානද ක්‍රියාත්මක වන බවයි.


මෙම තත්වය හමුවේ ජනතාවගේ සංචරණය සීමා වී නොමැති බවත්, වසංගත තත්වය අවම කර ගැනීම සඳහා ඇඳිරි නීතිය පැනවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් උපුල් රෝහණ මහතා පවසනවා. ඉකුත් වර්ෂයේ ආකාරයෙන්ම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු දැඩි තීරණවලට එළඹිය යුතු බවයි ඔහු පෙන්වා දී තිබේ.