"අසමගිය, වෛරය හෝ කොවිඩ් - 19 වැඩසටහනට බාධා කරන ව්‍යාජ පුවත්, ඡායාරූප, වීඩියෝ බෙදාහැරීම" මැයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් මෑතකදී නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ අන්තර්ගතය පිළිබඳව සිය සංගමයේ විශේෂ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුව පවසයි. 


වෛරී ප්‍රකාශ හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ තමන්ගේ විරෝධයක් නොමැති බව සඳහන් කරන ඔවුන් පෙන්වා දෙන්නේ අව්‍යාජ විරෝධාකල්ප හා විවේචන මර්දනය කිරීම සඳහා බලධාරීන් විසින් මෙම නීති භාවිතා නොකරන බවට සහතික කිරීම වැදගත් බවයි. 


එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මූලික අයිතිවාසිකම් වන කතාකිරීමේ හා ප්‍රකාශනයේ නිදහසට බාධා කිරීම සඳහා පොලිස් නිලධාරීන් එම නිවේදනයේ සඳහන් නීතිමය විධිවිධාන අවභාවිතා කළ හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි. 


ඒ අනුව මහජනතාවගේ කතාකිරීමේ හා ප්‍රකාශනයේ නිදහසත් විරුද්ධ වීමේ හා එකඟ නොවී සිටීමේ නිදහසත් ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය බවයි ඔවුන් අවධාරණය කරන්නේ.