මෙම වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු නව ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.


පසුගිය ජුනි මස පළමු වැනිදා සිට මෙම ඡන්ද නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ආරම්භ වු බව එම කොමිෂන් සභාව සඳහන් කරයි. 


කෙසේවෙතත් රට තුළ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නව ක්‍රමවේදයන් යටතේ එම කටයුතු සිදුකරන බව ඔවුන් දැනුම්දී තිබේ. 


ඒ අනුව පසුගිය වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනයේ ස්වකීය පදිංචියට අදාළ තොරතුරු පරික්ෂා කොට බලා එම ලියාපදිංචි ස්ථානය සංශෝධනය කළ යුතු නම් පමණක් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ. 


පදිංචි ස්ථානය සංශෝධනය කිරීමට අවශ්‍ය නම් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමුවී ඊට අදාළ ආකෘති පත්‍රය සම්පූර්ණ කොට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.


මේ අතර පළමුවැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ ඉල්ලුම් පත්‍ර සඳහා ඡන්ද හිමි නාමලේඛනයේ තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා තමා ලියාපදිංචි වී සිටින ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා මුණගැසී තොරතුරු ලබාගත හැකි බවද දැනුම් දෙයි.


එමෙන්ම www.elections.gov.lk යන මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ද පසුගිය වසරවල තොරතුරු ලබාගත හැකි බව එම කොමිසම සඳහන් කළේය.


එමෙන්ම මෙම තොරතුරු ග්‍රාම නිලධාරී හෝ වෙනත් නිලධාරියෙකු විසින් සහතික කිරීම අවශ්‍ය නොවන බව ද ඔවුන් අවධාරණය කරයි.