ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ මේ වන විටත් පෞද්ගලික බස් මඟින් කර්මාන්තශාලා සහ කාර්යාල වෙත සේවකයින් ප්‍රවාහනය කරමින් තිබෙ හෙයින් එහි ගාස්තු සංශෝධනයක් කිරීමට බලාපොරොත්තු වන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.


ගැමුණු විජේරත්න මහතා මේ බව සඳහන් කළේ අද (12) කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමිනි. 


 

කෙසේවෙතත් රෝහල් ඇතුළු ප්‍රතිකාර සේවා මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන සෞඛ්‍ය සේවකයින් සඳහා එය අදාළ නොවන අතර තවදුරටත් එම සේවය ලබා දෙන බවයි විජේරත්න මහතා පැවසුවේ.


සංචරණ සීමා හමුවේ මෙලෙස අත්‍යාවශ්‍ය සේවා වෙත සේවකයින් ප්‍රවාහනය සඳහා පෞද්ගලික බස් රථ වලින් 20%ක් පමණ යොදවා ඇති බව හෙතෙම කියාසිටියේය. 


ඒ අනුව කර්මාන්ත ශාලා සහ කාර්යාල වෙත සිදුකෙරෙන ප්‍රවාහනය වෙනුවෙන් ඉන්ධන මිල වැඩි වී ඇති ප්‍රතිශතයට අනුව ගාස්තු වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී සිදුකරන බවයි ඔහු පැවසුවේ.


කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ගෙවුණු වසර එකහමාරක පමණ කාලයක පෞද්ගලික බස් කර්මානත්ය නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි වූ අතර රජයෙන් ඉල්ලා සිටි සහනාධාරද නොලැබුණු බවයි සභාපතිවරයා කියාසිටියේ.


 

එමෙන්ම මෙම වසරේදී පමණක් ටයර් මිල,අමතර කොටස් මිල,ලිහිසි තෙල් ඇතුළු ඉන්ධන මිල එක් වරකට වැඩ වැඩි වීම නිසා බස් කර්මානත්ය පවත්වාගෙන යාම අර්බුදයකට ලක්ව තිබෙන බවද ඔහු අවධාරණය කරන ලදී.


මෙම පෞද්ගලික බස් කර්මාන්තයේ 50,000ක් පමණ රැකියා කරන අතර මේ වන විට ඔවුන්ගේ පවුල් දැඩි ලෙස අසරණ වී සිටින හෙයින් අවම වශයෙන් රු.5000දීමනාව හෝ ලබා දෙන ලෙස විෂය බැහැර අමාත්‍යවරුන් දෙදෙනාටම පැවසුවද එය හෝ නොලැබුණු බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.