රට අගුල් දැමීමට අවශ්‍ය කැප කිරීම නිසි පරිදි සිදු කරන්නේ නැතිනම් සංචරණ සීමා අවශ්‍ය වන කාලය තවත් දීර්ඝ වියහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය.


පවතින තත්ත්වය තුළ භයානක තත්ත්වය පහව ගියා සේ සැලකිය නොහැකි බව විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි


"භයානක තත්ත්වය පහව ගියා කියන එක අපිට කොහෙත්ම තාමත් කියන්න විදිහක් නෑ.  අපිට දැනට කියන්න පුළුවන් වෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට යම්කිසි දරන්න පුළුවන් ප්‍රමාණයකට රෝහල්වල ඇඳන් ටිකක් ආවා කියන එක පමණයි. ඒ වගේම අපි හැමෝටම සැකයක් තියෙනවා මේක අගුලු දාල ද නැද්ද කියන එක. ඒ තරම්ම ප්‍රජාව අපි සමාජයේ දකිනවා. අගුල් දැමීමට අවශ්‍ය කැප කිරීම අපි කරන්නේ නැත්නම් අපිට සංචරණ සීමා අවශ්‍ය වන කාලය තවදුරටත් දීර්ඝ වෙයි," යනුවෙනි.


රට තුළට නව කොවිඩ් ප්‍රභේද ඇතුළුවීම වැළැක්වීම සඳහා සෑම ක්‍රියාමාර්ගයක්ම ගතයුතු බවත් නව කොවිඩ් ප්‍රභේදයක් රට තුළ ව්‍යාප්ත වුවහොත් එය බරපතළ තත්ත්වයක් වියහැකි බව විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.


"ළඟකදී ලැබුණු වාර්තා අනුව ලංකාවේ තියෙන කොවිඩ් ප්‍රභේදය ඇල්ෆා කියලා පෙන්වා දුන්නා. නමුත් ඉන්දියාවේ ඩෙල්ටා ප්‍රභේදය වසංගතයක් විදිහට පැතිරුණා. ඒක ඉතා වේගයෙන් පැතිරිලා විශාල මරණ සංඛ්‍යාවක් සිදුවුණා. ඉතින් අපිට වගකීමක් තියෙනවා අලුතින් ප්‍රභේද රට ඇතුළට නොගැනීමට. මොකද මේ අලුත් ප්‍රභේද අපේ එන්නතට අහු නොවෙන්න පුළුවන්."